ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත ක්‍රියාමාර්ගවලට කලාකරුවන්ගේ පූර්ණ විරෝධය පළකරන බව ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ ඊයෙ (14දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“රටේ අපි මුහුණ දෙන වර්තමාන තත්ත්වය පිළිබඳව ජනනියමු කලාකරුවෝ හැටියට, සංවේදී මිනිස්සු පිරිසක් හැටියට අපේ ප්‍රතිචාරය මොකක්ද කියලා ජනතාව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. හැම පැත්තෙන්ම ඇතිවී තිබෙන ප්‍රශ්න සාමාන්‍ය මනුෂ්‍යයන්ට තව දුරටත් ඉවසන්න පුළුවන්ද කියන තත්ත්වයට ඇවිල්ල තියෙන්නේ. සමාජයේ ජීවත්වෙන මිනිසෙක් විදිහට නීති විරෝධී කටයුතුවලට, සදාචාර විරෝධී කටයුතුවලට යොමු නොවී මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වෙන්න පුළුවන්ද කියන තැනට ඇවිල්ල තියෙන්නේ.
මොහොතින්, මොහොත මනුෂ්‍ය ගරුත්වය උල්ලංඝනය කරන තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ සමීපතමයන් සහ ඔවුන්ගේ වටේ ඉන්න සුළු පිරිසක් හැර අනෙක් සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය අහෝසි වුණාට කමක් නැහැ කියන ආකාරයෙන් තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ සිද්ධවෙන දේවල් ගැන ඇහැ කන පියාගෙන තවදුරටත් ඉන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. කලාකරුවෝ විතරක් නෙවෙයි, සමාජයේ යුක්තිගරුක, නීතිගරුක සියලු ක්‍ෂේත්‍රවල පුරවැසියන්ට මේ තත්ත්වය අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුවට බරපතළ විරෝධයක් මතුවෙලා තියෙන්නේ.
ආණ්ඩුවේ ඇමැතිවරුන් ගුරුවරුන්ට “කාලකණ්ණි” කියන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත මනුෂ්‍යයෙක් කරන ප්‍රකාශයක් නෙවෙයි ඒක. නමුත් ගුරුවරුන්ට කාලකණ්ණි කියන තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කමල් පෙරේරා
“ආණ්ඩුව එක පැත්තකින් ගොවි ජනතාව මර්දනයකට පත්කරමින් ඉන්නවා විතරක් නෙවෙයි, ඊටත් වඩා බරපතළ සාගතයකට පත්කරමින් ඉන්නවා. ගොවි ජනතාවට එල්ල කරන ප්‍රහාරය මඟින් සමස්ත රටම සාගතයකට ඇදදමා තිබෙනවා. අයිතිවාසිකම් ඉල්ලන කම්කරුවන් සහ ශිෂ්‍යයන් මර්දනය කරමින් සිටිනවා. වැඩ කරන අපේ විරුවා, ඇමෙරිකානු විද්‍යාත්මක දැනීම වගේ ආදර්ශ පාඨ කියලා අරගෙන ආපු විරුවා අද විහිළුකාරයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඔහුගේම පක්‍ෂයේ සගයන් කියන හැටියට ෆේල් වෙලා. මූලික ප්‍රශ්න එකක්වත් විසඳාගන්න බැරිව අසරණව පවුලේ වෙනත් ගැලවුම්කරුවන් සොයාගෙන යනවා. බැසිල් රාජපක්‍ෂ වගේ පරාජිත, දුර්වල, කෙනකුට බලය ලබාදී තිබෙනවා. ඒකෙන් අදහස් කෙරෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසාර්ථක බවයි. ජාති, ආගම්, කුල භේද නොතකා ලක්වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් ජනනියමු කලාකරුවෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා.
සමාජයේ ඉදිරිගාමී කණ්ඩායම් හැටියට, සමාජය ගැන වඩා සංවේදී කණ්ඩායමක් හැටියට කලාකරුවන් හඳුුන්වනු ලබනවා. එහෙම නම් අපි ඉස්සෙල්ලාම කලාකරුවන්ට ආයාචනය කරන්න කැමැතියි. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කලාකරුවන් පිරිසක් විශාල කාර්යභාරයක් ඉටුකළා. 69 ලක්‍ෂයක් ජනතාව ඇහුවේ ඔවුන් කියපු දේ. ඒ නිසා ඒ කලාකරුවන්ට අද සාධාරණ යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න. හෘදය සාක්‍ෂියක් තියෙනවා නම් ඒ කලාකරුවන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. ජනනියමු කලාකරුවෝ හැටියට අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා සිදුකරන්න යන විනාශය ගැන කීවා. මේ රට පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවධාරණය කළා. මේ වගේ පසුබිමක හෘදය සාක්‍ෂියක් තියෙන කිසිම පුරවැසියකුට නිහඬව ඉන්න පුළුවන්ද? අනාගත පරම්පරාවේ සාපය විඳින්න කැමැති අයට විතරයි මේ මොහොතේ නිහඬව ඉන්න පුළුවන්.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
“1943 නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ කන්නන්ගර ශ්‍රීමතාණන් කියූ අදහසක් මතක් කරන්න ඕනෑ. “මම මේ පනත ගෙනාවේ විශාල පරිශ්‍රමයක් දරලා. හැබැයි ඒක රැකගන්න ඔබට ඊටත් වඩා බරපතළ පරිශ්‍රමයක් දරන්න සිදුවේවි” කියලා කීවා. අපි මුහුණදී ඉන්නේ ඒ වැකිය යථාර්ථයක් බවට පත්වෙන මොහොතට. මේ පනත තුළ තිබෙන ප්‍රබල තැන් කිහිපයක් සාමාන්‍ය ජනතාව වෙත පැහැදිලි කළ යුතු වෙනවා. කොතලාවල පනත පරාජය කළා කියලා ලංකාවේ නිදහස් අධ්‍යාපන ගැටලු විසෙඳෙන්නේ නැහැ. දැනටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනවා. එහෙම තියෙන තැනකට ප්‍රකම්පනීය අර්ථකාරී පනතක් දැන් ගෙනත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කවරාකාරද කියලා විශිෂ්ට ආකාරයෙන් කෙටුම්පත් කර ජනතාවට ඉදිරිපත් කළා. එය නැවත කියවා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.
මුදල් තියෙන අයට ඒ මුදල් යොදවලා උපාධියක් ලබාගන්න තිබෙන අවස්ථාවට අපි විරුද්ධයි කියලා මතයක් නිර්මාණය කරමින් යනවා. නමුත් අපේ ප්‍රතිපත්තියේ රාජ්‍ය පංගුව සහ පෞද්ගලික පංගුවේ ස්වභාවය පැහැදිලිව දක්වා තිබෙනවා. එය ඉතාම නිරවුල්. දැන් අපිට දොස් කියන අයගේ දරුවන්ට මුදල් ගෙවලා අධ්‍යාපනය ලැබීමේදී හමුදා නියෝග ඉදිරියේ දණ ගහන්න සිද්ධ වෙන පනතක් කොතලාවල විශ්වවිද්‍යාල පනත නමින් ගෙනත් තියෙන්නේ. මේක ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී මුදල් ගෙවලා ඉගෙනගන්න බලාපොරොත්තු වන පුරවැසියන්ට ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ පනතෙන් සිද්ධ කෙරෙන බලවත් මිලිටරිකරණය සහ මුදල් ගෙවීම යන කරුණු දෙක පැහැදිලි කරන්න ඕනෑ.
අප මේ කරන පුවත්පත් සාකච්ඡාව ලංකාවේ ඓතිහාසික සාකච්ඡාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පනත සම්මත කරගතහොත් උසස් අධ්‍යාපනයට උරුම වන ඛේදවාචකය අප සියල්ලන්ටම බලාගන්න හැකි වේවි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවද එය නොතකා ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. මේ ආයතනයේ පාලක මණ්ඩලය ක්‍රියා කළ යුතු වන්නේ ජාතික ආරක්‍ෂාව භාර ඇමැතිවරයාගේ නියෝගවලට අනුවයි. ඇමැතිවරයා එක්ක සාකච්ඡා කර තීරණය ගැනීමේ බලයක් පාලක මණ්ඩලයට නැහැ. නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි තියෙන්නේ. හමුදාව කියන්නේ අණ පිළිපැදීමයි. ඒ අනුව අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට නියෝග කරන සියලු පියවරයන් ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ යුතුයි. මේ විශ්වවිද්‍යාලය ඇතුළේ බෞද්ධ සමිතියක්වත් හදන්න වෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් හැටියට පත් කරන සියලු දෙනා හමුදා නිලධාරීන්. ජනාධිපතිවරයා විසින් මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට පත් කරන්නේ සන්නද්ධ හමුදාවක ජෙනරාල්වරයෙක්. මේ පත්කරන උපකුලපතිවරයා හේතු නොදක්වා ඕනෑම වෙලාවක තනතුරෙන් ඉවත් කළ හැකියි. ඒ වගේම සහායක නිලධාරි යනුවෙන් ප්‍රබල චරිතයක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු විය යුතුයි. මේ සහායක නිලධාරියා අවි, පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ වගේම යුද්ධමය ද්‍රව්‍ය භාරව සිටිය යුතු බව සඳහන් වෙනවා. එතකොට මේක විශ්වවිද්‍යාලයක්ද?
සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ යුද්ධ, නාය යන අවස්ථාවල ආධාර කරන්න, ළිං ඉහින්න හමුදාව හොඳයි නම් ඒ හමුදා නිලධාරියකුට පී.එච්.ඩී. එකක් දෙන එකට විරුද්ධ වෙන්නේ කුහකකමට කියලා. තිබෙන ප්‍රතිපාදන කොමිසම ස්වාභාවික මරණයට පත්කරලා ජාතික විශ්වවිද්‍යාල 15ම ක්‍රමානුකූලව මරණයට පත්කරන පනතක් සම්බන්ධයෙන් ඇමැතිවරයකු නිර්වචනය කර තිබෙන්නේ මේ විදිහට.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක, මහාචාර්ය පදවි, ජේයෂ්ඨ මහාචාර්ය පදවි, කථිකාචාර්ය ආදී සියලු තනතුරු ඇති කිරීම හෝ අවලංගු කිරීමේ බලයත් මේ හමුදා මණ්ඩලයට පැවැරෙනවා. කරුණා කරලා මේ තොරතුරු ජනතාව අතරට ගෙනයන්න. වැරදි අර්ථකථන ලබාදෙන්න තියෙන ඉඩ අහුරන්න. අධ්‍යයන කාර්යමණ්ඩල වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුදුසුකම් තීරණය කිරීමත් මේ පාලක මණ්ඩලයට ලබාදී තිබෙනවා. මේ පනතෙන් කෘත්‍යමය ආයතන හතරක් ස්ථාපනය කෙරෙනවා. මූලස්ථානය, සභාව, සනාතන සභාව සහ පීඨ මණ්ඩලය. මූලස්ථාන හමුවෙන්නේ මීට පෙර දේශපාලන පක්‍ෂයක නැත්නම් හමුදාමය ව්‍යුහයක. විශ්වවිද්‍යාලයේ සාජන් මේජර් කියලා තනතුරක් ඇති කරනවා. සභාව කියන එකේ ඉන්නේ උපකුලපතිවරයා, නියෝජ්‍ය උපකුලපතිවරයා, මණ්ඩප ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල පුහුණු අධ්‍යක්‍ෂවරුන් වගේම එක් එක් පීඨයේ පීඨාධිපතිවරුන් සහ සාජන් මේජර් කියන නිලධාරීයා හැම තැනකම ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස හෝ සේවා නියුක්තියකු ලෙස ආරක්‍ෂක අංශවලට තොරතුරු ලබාදෙන යම් තැනැත්තෙක්ද ඇතුළත් කරන්න ප්‍රතිපාදන තිබෙනවා.
කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 100%ක් නසා දමන පනතක් බව ඉතාම හොඳින් තහවුරු වී තිබෙනවා. මේ වනවිට මුහුණදී සිටින කොවිඩ් වසංගතය පවා ජය ගත්තේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා. ඒ හැර කොවිඩ් වසංගතය ජයගත් බව කියන දේශපාලනඥයන් නිසා නොවේ. ඒ නිසා මේ රටේ ආදරණීය ජනතාවට කලාකරුවන් හැටියට සහ සිවිල් බුද්ධිමතුන් හැටියට ආයාචනය කරලා කියන්නේ මේ පනත සම්මත වෙන්න දෙන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ බල ව්‍යුහය ඇතුළේ මීට විරුද්ධ වෙන්න ඉන්නේ දෙතුන් දෙනයි. මේ පනත පරාජය කිරීමේ හැකියාව තියෙන එකම ව්‍යුහය මේ රටේ පුරවැසියන්. ඔවුන් බළමුළු ගැන්විලා ආණ්ඩුවට බලකර මේක පරද්දන්න ඕනෑ. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය, රටේ උසස් අධ්‍යාපනය 100%කින් මිලිටරිකරණය කරන පනත වළක්වා ගන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, රංගන ශිල්පිනී දීපානි සිල්වා
අපේ ප්‍රධාන ආහාරය වන බත්, එළවළු සහ මාළු නිෂ්පාදනය කර දෙන ගොවීන් සහ ධීවරයන් සටන් මඟට යොමුකර තිබෙනවා. ඔවුන්ගේ ජීවිත පවා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත්කර තිබෙනවා. ඔවුන් ඉල්ලන්නේ රටේ ජනතාවට ආහාර ලබාදෙන්න අවශ්‍ය මූලික සාධක ටික. නමුත් ඒවාවත් ලබා නොදී උද්ධච්ච කතා කිය කිය ඉන්න ආණ්ඩුවක් මේක. පාලකයන්ගේ අවශ්‍යතා ජනතාවගේ අවශ්‍යතාවලට වඩා වෙනස්. ඒ වගේම පාලකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වඩා ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතා වෙනස්. මා ප්‍රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම ආචාර්ය ගාමිණී හත්තොටුවගමයන්ගේ මෙහෙයවීමෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට විරුද්ධව ශිෂ්‍ය සටනත් එක්ක එකට සිට අරගල කළා. එදා ඉඳලාම අපි ශිෂ්‍යයන්ගේ සහ මහජනතාවගේ අරගල භූමියේ ඉන්නවා. යුක්තිය, සාධාරණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. ඒක අපේ අයිතියක්.
– අනුරාධා හේරත් (www.mawbima.lk)