ආණ්ඩුව හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තැනත් විනාශ කරන බව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයෙ (22දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
පසුගිය ජූලි 16 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතට ඇතුළත් කරන්න යන සංශෝධන මේ වනවිට රටේ විශාල සංවාදයකට ලක්වී තිබෙනවා. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ජූලි 08 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කර ඡන්ද විමසීම පසුවට කල් දැම්මා. මේ පනතට එරෙහිව රට පුරා මතුවුණු උද්ඝෝෂණ නිසා ඡන්ද විමසීම කල් දැම්මා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍යයෝ, දේශපාලන පක්ෂවල සිවිල් ක්රියාකාරිකයන් ඇතුළු විශාල පිරිසක් උද්ඝෝෂණ පැවැත්වූවා. දැනට ආරංචි විදිහට අගෝස්තු 06 වැනිදා ඡන්ද විමසීම කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධව සමාජ කතිකාව නිසා බෞද්ධ උපදේශක කාරක සභාව කැඳවලා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා. ජනාධිපතිවරයා අදහස් කළේ මේ පනත ගැන වුණාට ඔහු කීවේ, ඔහුගේ මාධ්‍ය අංශය රටට කීවේත් යූ.ජී.සී. පනත සංශෝධනය කරනවා කියලා.
දැන් සංවාදයකට ලක්වී තිබෙන 1978 අංක 16 දරන පනතෙන් පිහිටුවූයේ යූ.ජී.සී. එක විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාලවල කුලපතිවරුන්, උපකුලපතිවරුන් පත්කිරීම, ශිෂ්‍ය සංගම් පිහිටුවීම, විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල ආදී කොටස් 21ක් මේ පනතෙන් ආවරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියන්නේ ඒ අතරෙන් කොටස් දෙකක් ආවරණය වීමක් පමණයි. ජනාධිපතිවරයා සහ ඔහුගේ මාධ්‍ය ඒකකය ඔවුන්ගේ දැනීම අනුව ප්‍රකාශ කර තිබෙන්නේ, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත ගැන වෙන්න ඇති කියලා අපි උපකල්පනය කරනවා. මේ 16 වැනිදා හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කර 1978 අංක 16 දරන පනතට යම් සංශෝධනයක් එකතු කරනවා. මේ සංශෝධනය මඟින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට අප එල්ල කර තිබෙන විවේචන කිසිවක් මඟහැරෙන්නේ නැහැ. එම පනත හරහා මිලිටරි යාන්ත්‍රණය උපයෝගි කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන්තර වෙනත් යාන්ත්‍රණයක් යෝජනා කර තිබෙනවා. නව සංශෝධනයෙන් ඒ යාන්ත්‍රණය අඩපණ වෙන්නේ නැහැ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පාලනය කරන, ශිෂ්‍යයන් බඳවා ගැනීමේ නිර්ණායක හදන, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල බඳවා ගන්න සහ එහි විෂය පථය තීරණය කරන ආදී සියලු බලය මේ මිලිටරි යාන්ත්රණයට ලැබෙනවා. ඒ පාලක මණ්ඩලය නව දෙනකුගෙන් සමන්විතයි. එයින් 07 දෙනකු ආරක්ෂක අංශවලට සම්බන්ධයි. එයින් පස් දෙනකු සක්‍රිය හමුදා සේවයේ නිරත වෙන අය.
මේ විශ්වවිද්‍යාලය ඇතුළේ අනෙක් විශ්වවිද්‍යාලවල දක්නට නොලැබෙන මූලස්ථානය කියලා ව්‍යුහයක් යෝජනා කර තියෙනවා. විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සහ පරිපාලනය සම්බන්ධයෙන් සියලු තීරණ ගන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ මේ මූලස්ථානය මඟිනුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළත් වන පනතේ මොන වෙනස්කම් කළත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලන යාන්ත්‍රණය කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා ජනාධිපතිවරයා වැදගත් ප්‍රශ්නයකට මේ රටට උත්තර දෙන්න ඕනෑ. කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්න සූදානම් වන්නේ තවදුරටත් මිලිටරි විශ්වවිද්‍යාලයක් හැටියටද එහෙම නැත්නම් සිවිල් ශිෂ්‍යයන්ට අයත් විශ්වවිද්‍යාලයක් හැටියටද කියන තීරණාත්මක ප්‍රශ්නයට උත්තර දෙන්න ඕනෑ. ආරක්ෂක අංශවල අයයි, සිවිල් ශිෂ්‍යයොයි පටලවාගෙන තවත් ජංජාලයක් වෙන්නේ. ත්‍රිවිධ හමුදාවල ඉන්න කැඩෙට් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ජාතික ජන බලවේගය කිසිම විටෙක විරුද්ධ වෙන්නේ නැහැ. ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ලබාදීලා විශේෂඥභාවයක් සහිතව ඉදිරියට ගෙනයන්න කිසිවිටකත් විරුද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් ජනාධිපතිවරයා ඒ මිලිටරි අභිලාෂය සහිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දියුණු කරන්න ඕනෑ. දොන් නම් දොන්, සිමන් නම් සිමන්. දෙකක් බැහැ. මේ දෙක පටලවා ගත්තාම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබාදෙන්න තිබෙන තැනත් විනාශ කරනවා. අනෙක් පැත්තෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වයත් විනාශ කරනවා. උසස් අධ්‍යාපනයට සම්බන්ධ සංශෝධන කිරීමේදී හිතළු මත, උද්දච්ඡ තීන්දු මත කරන්න බැහැ. එහි ආදීනව වසර ගණනාවකින් අත්විඳින්න සිද්ධ වෙනවා. සහල් ගැසට් එකක් ගහනකොට. රසායනික පොහොර තහනම් කරනකොට අනුගමනය කළ ක්‍රමවේද උසස් අධ්‍යාපන සම්බන්ධයෙන් ගන්න ජනාධිපතිවරයාට බැහැ. ඉදිරිපත් කර තිබෙන සංශෝධනය මඟින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට අප එල්ල කරන ලද විවේචනයට කිසිසේත්ම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා කළ යුතු වන්නේ ඉදිරිපත් කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වහාම ඉවත් කරගන්න එකයි. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න අවශ්‍ය නම් එය පුළුල් සංවාදයකින් පසුව කළ යුතුයි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය
1981 කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සහ ඊට පස්සේ කළ සංශෝධනවලත් ත්‍රිවිධ හමුදාවලට අවශ්‍ය නිලධාරීන් පුහුණු කිරීම කියන විශේෂ කාර්යයක් පැවැරී තිබුණා. නමුත් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හැටියට 2018 ගෙනා පනත තුළින් ඒ විශේෂ කාර්යය අහෝසි කරලා. වර්තමාන ආණ්ඩුව දැන් ගෙනත් තිබෙන්නේ ඒ පනතමයි. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් විශේෂ කාර්යයක් ඉටු කරන තැනක් විදිහට හඳන්වන්න බැහැ.
මොන වගේ තර්කයක් තුළ මේ සංශෝධන ගේනවාද කියලා හිතාගන්න බැහැ. කොතලාවල පනතට ගෙනා ප්‍රධාන විරෝධය අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම ගැන. ඒ ව්‍යුහය කිසිසේත්ම වෙනස් නොකර සිවිල් පරිපාලනයක් තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මේ මිලිටරි ආයතනය ඔබන්න යනවා. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමාජයෙන් ආපු විරෝධයට මතුපිටින් දක්වන පිළිතුරක් හැටියට ආණ්ඩුව මේ විශ්වවිද්‍යාලය යූ.ජී.සී. එක යටතට පවරා ගන්න බව කීවා. නමුත් මේ තුළින් කිසිම පැහැදිලි තත්ත්වයක් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාලයට තිබුණු විශේෂ කාර්යයත් එයට අදාළව ආණ්ඩුව ගෙනෙන පනතට තිබුණු විරෝධයත්, මිලිටරිකරණය අධ්‍යාපනයට ගෙන ඒමත්, උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණයත් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක්වත් විසඳෙන්නේ නැහැ. මෙයට විරෝධීව අපි මතු කළ ප්‍රධානම කරුණ සමාන්තර විශ්වවිද්‍යාල ව්‍යුහයක් රජය විසින්ම ආරම්භ කිරීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අඩු අවධානයක් යොමුවන බවයි. දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ට අවුරුදු ගාණක් තිබුණු නේවාසිකාගාරයක් දැන් නාගරික සංවර්ධන අධිකාරියට අයිති කරගෙන. විශ්වවිද්‍යාලයට තිබුණු දේපළක් මෙලෙස අත්පත්කර ගැනීමෙන් තහවුරු වෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මේ ආණ්ඩුව දක්වන ආකල්පයයි. අලුතින් ප්‍රතිපාදන ලබාදෙනවා වෙනුවට ආණ්ඩුව තියෙන සම්පත් පවා අහිමි කරමින් යනවා.
ආණ්ඩුවේ මේ හැම මැදිහත්වීමකින්ම පෙන්වන්නේ උසස් අධ්‍යාපනය ගැනවත් මිලිටරිය ගැනවත් කිසිම දැනුමක් නැති බවයි. අපි නැවත වතාවක් ඉල්ලා සිටින්නේ කොතලාවල විශ්වවිද්‍යාල පනත අහෝසි කරන්න කියලයි. ත්‍රිවිධ හමුදාවට උසස් අධ්‍යාපනය සඳහා මුලින් තිබුණු පනත අනුව ක්‍රියා කරන ලෙස අපි අවධාරණය කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියාගෙන දියුණු කරන්න ඕන තරම් දේවල් කළ හැකියි. ඒ ගැන ජාතික ජන බලවේගයේ කිසිම විරෝධයක් නැහැ.
ජාතික විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ආචාර්ය අනුර කරුණාතිලක
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මඟින් ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. විශ්වවිද්‍යාල පනතට ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇතුළත් වෙන්නේ නැහැ කියලා. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්න උත්සාහ කරන්නේ විශේෂිත කාර්යයන් සඳහා නෙවෙයි. නමුත් කලින්ම තිබුණේ ආරක්ෂක හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීමේ විශේෂිත කාර්යය සඳහා. නමුත් අලුත් පනතින් සිවිල් ජනතාවටත් අවකාශ විවෘත කිරීම අපේක්ෂා කරනවා. ආණ්ඩුව කරලා තියෙන්නේ එක කඩතුලක් වහගන්න අමනෝඥ විදිහට කටයුතු කිරීමයි. තිබුණු විවේචනවලට ඇහුම්කන් දුන්නා නම් ඒ විවේචනවල හරය තේරුම් ගෙන කටයුතු කළා නම් ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ නැහැ. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් කිසිම විවේචනයක් තිබුණේ නැහැ. සිවිල් කණ්ඩායම්වලට මිලිටරිමය ව්‍යුහයකින් උසස් අධ්‍යාපනය ලබාදීම සම්බන්ධවයි විවේචනය තිබුණේ. හමුදාවලට උසස් අධ්‍යාපනය ලබාදෙන්න ඉඩකඩ පුළුල් කරන්න අවශ්‍යයි නම් ඒ සඳහා ක්‍රියා කරන එකයි ආණ්ඩුවට තිබුණේ. නමුත් රාජ්‍ය මැදිහත්වීම යටතේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පෞද්ගලික උසස් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීමේ ආණ්ඩුවේ අරමුණ ඒ ලෙසම තියාගෙන මහජනතාව නොමඟ යැවීමට හදිසියේම විශ්වවිද්‍යාල පනතට සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජන බලවේගය විදිහට අපි පැහැදිලි කරන්නේ මේ මඟින් ප්රශ්නය තවදුරටත් දික් ගැස්සී අවුල් වුණා මිසක් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මේ දී තිබෙන විසඳුම කිසිවෙකුත් පිළිගන්න එකක් නැති බව අපට පැහැදිලියි. තවදුරටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න කටයුතු කළ යුතුයි කියන අපේක්ෂාව අපිට තිබෙනවා. අපේ සහයෝගය ජාතික ජන බලවේගය හැටියට එයට නිරන්තරයෙන්ම ලබා දෙනවා.
– අනුරාධා හේරත් (www.mawbima.lk)
July 2021
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත ස්ථිරවම හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් පසුගියදා (17දා) දින ජාතික ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වන ලදී. එහි තේමා පාඨය වූයේ ‘අධ්‍යාපනයේ නිවහල් චින්තනය පාගන කොතලාවල පනත මිලිටරී සංස්කෘතිය රටට එපා’ යන්නය.
නිරෝධායන නීති රීති අනුගමනය කරමින් පැවැත්වූ මෙම උද්ඝෝෂණයට ජවිපෙ නායකයන්, ජාතික ජන බලවේගයේ සාමාජිකයන්, වෘත්තීය සමිති නායකයන්, විද්වතුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන ක්රියාකාරකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.එහිදී ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසුවේ පසුගිය (08දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල පනත තුළ ප්‍රධානතම අරමුණ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම බවත් මෙය තාවකාලිකව නොව ස්ථිර වශයෙන්ම හකුළා ගත යුතු බවත්ය.
ඕනෑම රටක හමුදා නිලධාරීන්ට සිය අධ්‍යාපන හා පුහුණු වීම් සඳහා වෙනම අධ්‍යාපන පීඨයන් ක්‍රියාත්මක නමුත් ලංකාවේ අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බාහිරව බවත්ය. එමෙන්ම මේ හරහා ඇති හැකි අයට පමණක් අධ්‍යාපන ෙදාරටු විවර වන බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා ඇති හැකි හා නැති බැරි සියලු දෙනාට අධ්‍යාපන ෙදාරටු විවෘත කළ යුතු බැවින් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය මිලිටරි සංස්කෘතියක් දක්වා ඇද දැමීමට කටයුතු නොකළ යුතු බවට මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.අනුරාධා හේරත් (www.mawbima.lk)
ආණ්ඩුව ගෙනයන දුර්දාන්ත ක්‍රියාමාර්ගවලට කලාකරුවන්ගේ පූර්ණ විරෝධය පළකරන බව ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේ ඊයෙ (14දා) ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
ඒ මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය.
“රටේ අපි මුහුණ දෙන වර්තමාන තත්ත්වය පිළිබඳව ජනනියමු කලාකරුවෝ හැටියට, සංවේදී මිනිස්සු පිරිසක් හැටියට අපේ ප්‍රතිචාරය මොකක්ද කියලා ජනතාව දැනුවත් කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. හැම පැත්තෙන්ම ඇතිවී තිබෙන ප්‍රශ්න සාමාන්‍ය මනුෂ්‍යයන්ට තව දුරටත් ඉවසන්න පුළුවන්ද කියන තත්ත්වයට ඇවිල්ල තියෙන්නේ. සමාජයේ ජීවත්වෙන මිනිසෙක් විදිහට නීති විරෝධී කටයුතුවලට, සදාචාර විරෝධී කටයුතුවලට යොමු නොවී මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වෙන්න පුළුවන්ද කියන තැනට ඇවිල්ල තියෙන්නේ.
මොහොතින්, මොහොත මනුෂ්‍ය ගරුත්වය උල්ලංඝනය කරන තත්ත්වයක් තියෙන්නේ. ආණ්ඩුවේ සමීපතමයන් සහ ඔවුන්ගේ වටේ ඉන්න සුළු පිරිසක් හැර අනෙක් සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය අහෝසි වුණාට කමක් නැහැ කියන ආකාරයෙන් තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ සිද්ධවෙන දේවල් ගැන ඇහැ කන පියාගෙන තවදුරටත් ඉන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. කලාකරුවෝ විතරක් නෙවෙයි, සමාජයේ යුක්තිගරුක, නීතිගරුක සියලු ක්ෂේත්රවල පුරවැසියන්ට මේ තත්ත්වය අභියෝගයක් වෙලා තියෙන්නේ. ඒ වගේම ආණ්ඩුවට බරපතළ විරෝධයක් මතුවෙලා තියෙන්නේ.
ආණ්ඩුවේ ඇමැතිවරුන් ගුරුවරුන්ට “කාලකණ්ණි” කියන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගත්ත මනුෂ්‍යයෙක් කරන ප්‍රකාශයක් නෙවෙයි ඒක. නමුත් ගුරුවරුන්ට කාලකණ්ණි කියන තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, සාහිත්‍යවේදී කමල් පෙරේරා
“ආණ්ඩුව එක පැත්තකින් ගොවි ජනතාව මර්දනයකට පත්කරමින් ඉන්නවා විතරක් නෙවෙයි, ඊටත් වඩා බරපතළ සාගතයකට පත්කරමින් ඉන්නවා. ගොවි ජනතාවට එල්ල කරන ප්‍රහාරය මඟින් සමස්ත රටම සාගතයකට ඇදදමා තිබෙනවා. අයිතිවාසිකම් ඉල්ලන කම්කරුවන් සහ ශිෂ්‍යයන් මර්දනය කරමින් සිටිනවා. වැඩ කරන අපේ විරුවා, ඇමෙරිකානු විද්‍යාත්මක දැනීම වගේ ආදර්ශ පාඨ කියලා අරගෙන ආපු විරුවා අද විහිළුකාරයෙක් බවට පත්වෙලා ඉන්නවා. ඔහුගේම පක්ෂයේ සගයන් කියන හැටියට ෆේල් වෙලා. මූලික ප්‍රශ්න එකක්වත් විසඳාගන්න බැරිව අසරණව පවුලේ වෙනත් ගැලවුම්කරුවන් සොයාගෙන යනවා. බැසිල් රාජපක්ෂ වගේ පරාජිත, දුර්වල, කෙනකුට බලය ලබාදී තිබෙනවා. ඒකෙන් අදහස් කෙරෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසාර්ථක බවයි. ජාති, ආගම්, කුල භේද නොතකා ලක්වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් ජනනියමු කලාකරුවෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා.
සමාජයේ ඉදිරිගාමී කණ්ඩායම් හැටියට, සමාජය ගැන වඩා සංවේදී කණ්ඩායමක් හැටියට කලාකරුවන් හඳුුන්වනු ලබනවා. එහෙම නම් අපි ඉස්සෙල්ලාම කලාකරුවන්ට ආයාචනය කරන්න කැමැතියි. මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කලාකරුවන් පිරිසක් විශාල කාර්යභාරයක් ඉටුකළා. 69 ලක්ෂයක් ජනතාව ඇහුවේ ඔවුන් කියපු දේ. ඒ නිසා ඒ කලාකරුවන්ට අද සාධාරණ යුතුකමක් සහ වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න. හෘදය සාක්ෂියක් තියෙනවා නම් ඒ කලාකරුවන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. ජනනියමු කලාකරුවෝ හැටියට අපි ජනතාව ඉදිරියට ඇවිල්ලා සිදුකරන්න යන විනාශය ගැන කීවා. මේ රට පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවධාරණය කළා. මේ වගේ පසුබිමක හෘදය සාක්ෂියක් තියෙන කිසිම පුරවැසියකුට නිහඬව ඉන්න පුළුවන්ද? අනාගත පරම්පරාවේ සාපය විඳින්න කැමැති අයට විතරයි මේ මොහොතේ නිහඬව ඉන්න පුළුවන්.
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
“1943 නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ කන්නන්ගර ශ්‍රීමතාණන් කියූ අදහසක් මතක් කරන්න ඕනෑ. “මම මේ පනත ගෙනාවේ විශාල පරිශ්‍රමයක් දරලා. හැබැයි ඒක රැකගන්න ඔබට ඊටත් වඩා බරපතළ පරිශ්‍රමයක් දරන්න සිදුවේවි” කියලා කීවා. අපි මුහුණදී ඉන්නේ ඒ වැකිය යථාර්ථයක් බවට පත්වෙන මොහොතට. මේ පනත තුළ තිබෙන ප්‍රබල තැන් කිහිපයක් සාමාන්‍ය ජනතාව වෙත පැහැදිලි කළ යුතු වෙනවා. කොතලාවල පනත පරාජය කළා කියලා ලංකාවේ නිදහස් අධ්‍යාපන ගැටලු විසෙඳෙන්නේ නැහැ. දැනටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව විවිධ පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනවා. එහෙම තියෙන තැනකට ප්‍රකම්පනීය අර්ථකාරී පනතක් දැන් ගෙනත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කවරාකාරද කියලා විශිෂ්ට ආකාරයෙන් කෙටුම්පත් කර ජනතාවට ඉදිරිපත් කළා. එය නැවත කියවා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.
මුදල් තියෙන අයට ඒ මුදල් යොදවලා උපාධියක් ලබාගන්න තිබෙන අවස්ථාවට අපි විරුද්ධයි කියලා මතයක් නිර්මාණය කරමින් යනවා. නමුත් අපේ ප්‍රතිපත්තියේ රාජ්‍ය පංගුව සහ පෞද්ගලික පංගුවේ ස්වභාවය පැහැදිලිව දක්වා තිබෙනවා. එය ඉතාම නිරවුල්. දැන් අපිට දොස් කියන අයගේ දරුවන්ට මුදල් ගෙවලා අධ්‍යාපනය ලැබීමේදී හමුදා නියෝග ඉදිරියේ දණ ගහන්න සිද්ධ වෙන පනතක් කොතලාවල විශ්වවිද්‍යාල පනත නමින් ගෙනත් තියෙන්නේ. මේක ක්‍රියාත්මක වුණොත් අනාගතයේදී මුදල් ගෙවලා ඉගෙනගන්න බලාපොරොත්තු වන පුරවැසියන්ට ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. මේ පනතෙන් සිද්ධ කෙරෙන බලවත් මිලිටරිකරණය සහ මුදල් ගෙවීම යන කරුණු දෙක පැහැදිලි කරන්න ඕනෑ.
අප මේ කරන පුවත්පත් සාකච්ඡාව ලංකාවේ ඓතිහාසික සාකච්ඡාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පනත සම්මත කරගතහොත් උසස් අධ්‍යාපනයට උරුම වන ඛේදවාචකය අප සියල්ලන්ටම බලාගන්න හැකි වේවි.
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවද එය නොතකා ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. මේ ආයතනයේ පාලක මණ්ඩලය ක්‍රියා කළ යුතු වන්නේ ජාතික ආරක්ෂාව භාර ඇමැතිවරයාගේ නියෝගවලට අනුවයි. ඇමැතිවරයා එක්ක සාකච්ඡා කර තීරණය ගැනීමේ බලයක් පාලක මණ්ඩලයට නැහැ. නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි තියෙන්නේ. හමුදාව කියන්නේ අණ පිළිපැදීමයි. ඒ අනුව අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට නියෝග කරන සියලු පියවරයන් ප්‍රශ්න කිරීමකින් තොරව ක්‍රියාත්මක කළ යුතුයි. මේ විශ්වවිද්‍යාලය ඇතුළේ බෞද්ධ සමිතියක්වත් හදන්න වෙන්නේ නැහැ. මේ විශ්වවිද්‍යාලයේ නිලධාරීන් හැටියට පත් කරන සියලු දෙනා හමුදා නිලධාරීන්. ජනාධිපතිවරයා විසින් මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට පත් කරන්නේ සන්නද්ධ හමුදාවක ජෙනරාල්වරයෙක්. මේ පත්කරන උපකුලපතිවරයා හේතු නොදක්වා ඕනෑම වෙලාවක තනතුරෙන් ඉවත් කළ හැකියි. ඒ වගේම සහායක නිලධාරි යනුවෙන් ප්‍රබල චරිතයක් තියෙනවා. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු විය යුතුයි. මේ සහායක නිලධාරියා අවි, පුපුරණ ද්‍රව්‍ය සහ අවි ආයුධ වගේම යුද්ධමය ද්‍රව්‍ය භාරව සිටිය යුතු බව සඳහන් වෙනවා. එතකොට මේක විශ්වවිද්‍යාලයක්ද?
සරත් වීරසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ යුද්ධ, නාය යන අවස්ථාවල ආධාර කරන්න, ළිං ඉහින්න හමුදාව හොඳයි නම් ඒ හමුදා නිලධාරියකුට පී.එච්.ඩී. එකක් දෙන එකට විරුද්ධ වෙන්නේ කුහකකමට කියලා. තිබෙන ප්‍රතිපාදන කොමිසම ස්වාභාවික මරණයට පත්කරලා ජාතික විශ්වවිද්‍යාල 15ම ක්‍රමානුකූලව මරණයට පත්කරන පනතක් සම්බන්ධයෙන් ඇමැතිවරයකු නිර්වචනය කර තිබෙන්නේ මේ විදිහට.
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ නිර්ණායක, මහාචාර්ය පදවි, ජේයෂ්ඨ මහාචාර්ය පදවි, කථිකාචාර්ය ආදී සියලු තනතුරු ඇති කිරීම හෝ අවලංගු කිරීමේ බලයත් මේ හමුදා මණ්ඩලයට පැවැරෙනවා. කරුණා කරලා මේ තොරතුරු ජනතාව අතරට ගෙනයන්න. වැරදි අර්ථකථන ලබාදෙන්න තියෙන ඉඩ අහුරන්න. අධ්‍යයන කාර්යමණ්ඩල වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සුදුසුකම් තීරණය කිරීමත් මේ පාලක මණ්ඩලයට ලබාදී තිබෙනවා. මේ පනතෙන් කෘත්‍යමය ආයතන හතරක් ස්ථාපනය කෙරෙනවා. මූලස්ථානය, සභාව, සනාතන සභාව සහ පීඨ මණ්ඩලය. මූලස්ථාන හමුවෙන්නේ මීට පෙර දේශපාලන පක්ෂයක නැත්නම් හමුදාමය ව්‍යුහයක. විශ්වවිද්‍යාලයේ සාජන් මේජර් කියලා තනතුරක් ඇති කරනවා. සභාව කියන එකේ ඉන්නේ උපකුලපතිවරයා, නියෝජ්‍ය උපකුලපතිවරයා, මණ්ඩප ප්‍රධානීන් සහ ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල පුහුණු අධ්යක්ෂවරුන් වගේම එක් එක් පීඨයේ පීඨාධිපතිවරුන් සහ සාජන් මේජර් කියන නිලධාරීයා හැම තැනකම ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස හෝ සේවා නියුක්තියකු ලෙස ආරක්ෂක අංශවලට තොරතුරු ලබාදෙන යම් තැනැත්තෙක්ද ඇතුළත් කරන්න ප්‍රතිපාදන තිබෙනවා.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 100%ක් නසා දමන පනතක් බව ඉතාම හොඳින් තහවුරු වී තිබෙනවා. මේ වනවිට මුහුණදී සිටින කොවිඩ් වසංගතය පවා ජය ගත්තේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍යය නිසා. ඒ හැර කොවිඩ් වසංගතය ජයගත් බව කියන දේශපාලනඥයන් නිසා නොවේ. ඒ නිසා මේ රටේ ආදරණීය ජනතාවට කලාකරුවන් හැටියට සහ සිවිල් බුද්ධිමතුන් හැටියට ආයාචනය කරලා කියන්නේ මේ පනත සම්මත වෙන්න දෙන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ බල ව්‍යුහය ඇතුළේ මීට විරුද්ධ වෙන්න ඉන්නේ දෙතුන් දෙනයි. මේ පනත පරාජය කිරීමේ හැකියාව තියෙන එකම ව්‍යුහය මේ රටේ පුරවැසියන්. ඔවුන් බළමුළු ගැන්විලා ආණ්ඩුවට බලකර මේක පරද්දන්න ඕනෑ. ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය, රටේ උසස් අධ්‍යාපනය 100%කින් මිලිටරිකරණය කරන පනත වළක්වා ගන්න කියලා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
ජනනියමු කලාකරුවෝ සංවිධානයේ මෙහෙයුම් මණ්ඩල සාමාජික, රංගන ශිල්පිනී දීපානි සිල්වා
අපේ ප්‍රධාන ආහාරය වන බත්, එළවළු සහ මාළු නිෂ්පාදනය කර දෙන ගොවීන් සහ ධීවරයන් සටන් මඟට යොමුකර තිබෙනවා. ඔවුන්ගේ ජීවිත පවා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත්කර තිබෙනවා. ඔවුන් ඉල්ලන්නේ රටේ ජනතාවට ආහාර ලබාදෙන්න අවශ්‍ය මූලික සාධක ටික. නමුත් ඒවාවත් ලබා නොදී උද්ධච්ච කතා කිය කිය ඉන්න ආණ්ඩුවක් මේක. පාලකයන්ගේ අවශ්‍යතා ජනතාවගේ අවශ්‍යතාවලට වඩා වෙනස්. ඒ වගේම පාලකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට වඩා ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයේ අවශ්‍යතා වෙනස්. මා ප්රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම ආචාර්ය ගාමිණී හත්තොටුවගමයන්ගේ මෙහෙයවීමෙන් රාගම පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාලයට විරුද්ධව ශිෂ්‍ය සටනත් එක්ක එකට සිට අරගල කළා. එදා ඉඳලාම අපි ශිෂ්‍යයන්ගේ සහ මහජනතාවගේ අරගල භූමියේ ඉන්නවා. යුක්තිය, සාධාරණය වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා. ඒක අපේ අයිතියක්.
– අනුරාධා හේරත් (www.mawbima.lk)
ආණ්ඩුව පළාත් සංචරණ සීමා පමණක් දීර්ඝ කර ඇත්තේ කොළඹට දැවැන්ත විරෝධතා රැලි පැමිණෙතැයි යන බියට බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
එසේ නොමැතිව කොවිඩ් – 19 මර්දනය කිරීමේ සද්භාවයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන බවද මන්ත්‍රිවරිය “මව්බිම”ට ප්‍රකාශ කළාය.
සංචරණ සීමා ඉවත් කර රට සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරනවා නම් අනිවාර්යයෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් හා නිසියාකාරව සිදුවිය යුතු බව පවසන අමරසූරිය මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දිනෙන් දින තීරණ හා සැලසුම් වෙනස් වීම මත මෙතෙක් එන්නත්කරණය ගැන විශ්වාසයක් ගොඩනැඟී නැති බවයි.
රැකියා හා වැටුප් ප්‍රශ්න ඇතුළු ආර්ථික කරුණු හේතුවෙන් මේ වනවිට බොහෝ ක්ෂේත්රවල විරෝධතා මතුව ඇති බවත් ආණ්ඩුවේ සියලු පැති අසාර්ථක බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.
රට තීරණාත්මක සන්ධිස්ථානයක පැමිණ තිබෙන මේ මොහොතේ තවත් විශේෂිත හානිදායි පියවරකට එළඹෙමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්මත කරගෙන ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රශ්න ගණනාවක් පැන නගිනවා. එයින් නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක් සිදුවන අතර ඒ පිළිබඳව කරුණු රැසක් මේ වනවිට අප හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනය අයත් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි. හැබැයි යෝජිත පනත් කෙටුම්පත මගින් මේ උසස් අධ්‍යාපන ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබෙනවා. උපාධි ප්රදානය කිරීම, ඩිප්ලෝමා ප්රදානය කිරීම, පර්යේෂණ පැවැත්වීම, සහතික පත් ප්රදානය වැනි සියලු කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සිදුකිරීම නිදහස් අධ්‍යාපනයට බරපතළ හානියක්. යෝජිත පනත් කෙටුම්පත මගින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නා ක්‍රමවේදය පැහැදිලි කර නැහැ.
වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පදනම් කරගෙන. ඉහළම ලකුණු ලබාගන්නා සිසු දරුවන් බඳවා ගන්නවා. යෝජිත පනත් කෙටුම්පත මගින් එහෙම නිශ්චිත නිර්ණායක දක්වා නැහැ. නිර්ණායක තීරණය කරන්නේ අදාළ ආයතන මගින්. නමුත් මේ පනත සම්මත වීමෙන් පසුව බලධාරීන්ට හිතවත් අඩු සුදුසුකම් සහිත කණ්ඩායම් විශ්වවිද්‍යාල ආයතනයක් තුළට ඇතුළත් කරගෙන උපාධි හෝ ඒ හා සමාන සහතික පිරිනැමීමේ ක්‍රියාමාර්ග ගත හැකියි. ශිෂ්‍යයන් බඳවා ගැනීම විතරක් නෙවෙයි, අනෙකුත් කාර්ය මණඩල සහ ආචාර්යවරු බඳවා ගැනීමේදීත් මේ තත්වයම දකින්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයට වගේම ශාස්ත්‍රීය අධ්‍යාපනයටත් මෙය බරපතළ ගැටලුවක්. මේ කෙටුම්පතින් යෝජනා කරන විවිධාකාරයේ නිදහස අහිමි කිරීමේ තත්වයන්ද තිබෙනවා.
හමුදා නිලධාරීන්ට ඔවුන්ගෙ අවශ්‍යතා අනුව වෘත්තීය පාඨමාලා සකස් කිරීම අපට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ආරක්ෂක අංශවලින් පිට වෙනත් ඕනෑම විෂයයක් පිළිබඳ උපාධි සිට පශ්චාද් උපාධි දක්වා පිරිනමන්න වාතාවරණය වෙයින් නිර්මාණය කර දෙනවා. මේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ ඉඩ ලැබෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ යහපැවැත්ම වෙනුවෙන් ශිෂ්‍ය සංගම් විශාල දායකත්වයක් සපයනවා. මම ඒ බව කියන්නෙ පීඨාධිපතිවරයෙක් වශයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 09ක අත්දැකීම් තුළින්. නමුත් මේ පනත් කෙටුම්පත තුළින් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය, විෂය බාහිර ක්‍රියාකාරකම් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලට කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ක්‍රීඩා කටයුතු හැරුණාම සාහිත්‍ය සංගමයක්වත් පිහිටුවා ගන්න ඉඩක් නැහැ. අධ්‍යාපනයේ මූලික පදනම් සියල්ල බිඳ දමමින් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා.
සාමාන්‍ය විශ්වවිද්‍යාලයකදී අධ්‍යාපනයට අදාළ ඕනෑම සංශෝධනයක්, නව විෂය නිර්දේශයක් හෝ වෙනත් සාධනීය යෝජනාවක් ඉදිරිපත් කරන්නේ අධ්‍යයන අංශ ප්රවීණයන්ගේ මූලික සාකච්ඡාවක් තුළින්. ඉන්පසු වෙනත් විශේෂඥ අදහස් ලබාගෙන පීඨ මණ්ඩලයේදී ගැඹුරින් සාකච්ඡා කරනවා. ඉන් පසුව විෂය අධ්‍යයන කමිටුවකට යොමු කරනවා. එහිදී වඩාත් ගැඹුරින් සාකච්ඡා කරලා සනාතන සභාවේදී නැවත ගැඹුරු සාකච්ඡාවකට ලක්වෙනවා. මේ විධිමත් ක්‍රමවේදය යෝජිත පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු අදාළ ආයතනවල ක්‍රියාත්මක කෙරෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ල කෙරෙනවා වගේම මුදල් අයකර පාඨමාලා පවත්වාගෙන යන මෙවැනි ආයතන ගණනාවක් ඉදිරියේදී බිහි වෙන්න ඉඩ තිබෙනවා. යහමින් මුදල් තිබෙන සීමිත පිරිසකට පමණක් ඉඩකඩ විවර කරන බරපතළ පනත් කෙටුම්පතක් වශයෙන් මෙය හඳුන්වන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිඵල ලබන සියලු දෙනා මෙයට එරෙහිව පෙළගැසෙන්න මම ආරාධනා කරනවා.
ජාතික විද්වත් සංවිධානයේ සභාපති, මහාචාර්ය චන්දන අබේරත්න
මීට කලින් මාධ්‍ය සාකච්ඡා දෙකක් පවත්වා ජාතික ජන බලවේගය හැටියට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් කරුණු දැක්වූවා. ජූලි 08වැනිදා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා. කොතලාවල ආරක්ෂක පීඨය පිහිටවූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ අවසාන කැමැත්ත අනුව. ඔහු පදිංචිව සිටි ස්ථානයේ 1981 කොතලාවල ආරක්ෂක පීඨය පටන් ගත්තා. එය ආරම්භ කළේ හමුදා කැඩෙට් නිලධාරීන් පුහුණු කරන්න අදාළ විෂයයන් ඉගැන්වීම වෙනුවෙන්. හමුදාවෙන් පිට අයට මෙම ආයතනය විවෘත කරන බව කිසිම අවස්ථාවක සඳහන් වෙන්නේ නැහැ. නමුත් පසුගිය අවුරුදු ගණනාව තුළ විවිධ හේතුන් මත ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරමින් හමුදාවලට සම්බන්ධ නැති අය ඇතුළත් කර ගන්නවා. ඒ වගේම හමුදාවට අදාළ නොවන විෂයයන් උගන්වන්න පටන් ගත්තා. ඊට අදාළ නිසි නීතිමය ක්‍රියාමාර්ග සම්පූර්ණ කර තිබුණේ නැහැ. ඒ නිසා අදාළ නීතිමය ක්‍රියාමාර්ග නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට මෙම පනත් කෙටුම්පත ගෙනවිත් තිබෙනවා.
හමුදා නිලධාරීන් සඳහා වෙනම ආයතනයක් පිහිටුවා ගැනීම ලෝකයේ ඕනෑම රටවල සිදුකෙරනවා. අපිටත් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ පනතෙන් කරන්නේ හමුදා නිලධාරීන්ගේ දියුණුව සහ ඔවුන් ශක්තිමත් කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. මෙයින් ඉදිරිපත් කරන ව්‍යූහයෙන් හමුදා නිලධාරීන්, රජයේ සේවකයන් සහ වෙනත් අයට අධ්‍යාපනය ලබාදීම ගැන පනතේ සඳහන් වෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා විසින් පත් කරන පාලක මණ්ඩලයක් මේ ආයතනය මෙහෙයවනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට තිබෙන සියලුම බලතල මේ පාලක මණ්ඩලයට ලබාදෙනවා. එයින් අදහස් කෙරෙන්නේ මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම පමණක් නොවෙයි, එයින් පරිබාහිරව මෙවැනි වෙනත් ආයතන පිහිටුවා ගැනීමේ අවස්ථාවක් ලබා දීමයි. වෙනත් උපාධි ප්රදානය කරන ආයතනවලට අනුමැතිය දීමේ හැකියාවත් මේ පාලක මණ්ඩලයට ලැබෙනවා. පාසැල්වල සිට විශ්වවිද්‍යාල දක්වා මේ යටතේ පිහිටුවන්න පුළුවන්.
මේ පාලක මණ්ඩලයට පත්කරන නව දෙනෙකුගෙන් හතර දෙනෙකු හැර අනෙක් සියලුම දෙනා ත්‍රිවිධ හමුදාවේ අධිපතිවරුන් සහ කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා බවට පත්වන්නේ හමුදා නිලධාරියක්. උසස් අධ්‍යාපනය සම්බන්ධ විෂය ගැන දැනුවත් වෘත්තිකයන් ඒ උසස් අධ්‍යාපන ආයතනවලට පත් කෙරෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රශ්න තිබුණත් එයට පත්කරන්නේ අදාල විෂය ප්රාමාණිකයන්. විශ්වවිද්‍යාලවලට පත් කෙරෙන්නෙත් ඒ ආකාරයෙන්මයි. යම්කිසි විශ්වවිද්‍යාලයක් පිළිබඳ තීරණ ගන්නේ එක් එක් ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්. නමුත් මේ පනත සම්මත කිරීමෙන් උසස් අධ්‍යාපන ආයතනයක තිබිය යුතු සංස්කෘතිය පිළිබඳව, ප්රමිතීන් පිළිබඳව කිසිම අදහසක් නැති අය පාලක සභාවලට පත් කෙරෙනවා. මේ පනත මුලින්ම ඉදිරිපත් කෙරෙන්නේ 2018 රනිල්-මෛත්‍රී ආණ්ඩුව කාලයේයි. ඒ කාලයේ සිදුකළ දේවල් වෙනස් කරනවා කියලා බලයට පත්වුණු මේ ආණ්ඩුව මේ පනත කිසිම වෙනසක් නැතිව ඉදිරිපත් කර තිබෙනවා.
නිදහස් අධ්‍යාපන පනත 1943 ගෙනෙන කොට විශාල සංවාදයක් ඇතිවී තිබුණා. මේ පනත මගින් නොමිලේ අධ්‍යාපනය ලබාදීම විතරක් සිදු කෙරුණා නෙවෙයි. මේ පනත වටා තිබුණු සංවාදවලින් පැහැදිලි වෙන්නේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමේ වෙනත් පරමාර්ථ ගණනාවක් තිබුණු බවයි. සමාජ තත්වයක්, මුදල්, හැකියාව, ඉංග්‍රීසි භාෂාව කථා කරන අය වැනි පිරිසකට සීමා වී තිබූ වරප්‍රසාදයක් මේ රටේ සියලුම දෙනාට ලබාදීමේ අරමුණින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කළා. එතන යම්කිසි දර්ශනයක් තිබුණා. ඒ තුළ තිබුණේ අධ්‍යාපනය වරප්‍රසාදයක් නෙවෙයි, අධ්‍යාපනය අයිතියක්. ඒ වගේම ගුණාත්මක අධ්‍යාපන අයිතිය සෑම පුරවැසියෙකුටම තහවුරු කිරීම මූලික දර්ශනය වුණා. මේ රටට අවශ්‍ය ප්රජාතන්ත්රවාදය, මේ රටේ සංස්කෘතිය තේරුම් ගෙන පුරවැසියන් බිහි කිරීමේ පරම වගකීම ඉටුකිරීම වෙනුවෙන් දර්ශනයක් තිබුණා. මේ පනත මගින් ඒ දර්ශනය සම්පූර්ණයෙන්ම විකෘති කරනවා. අධ්‍යාපනය සියලු දෙනාගේම අයිතියක් බවට තිබුණු දර්ශනය විකෘති කිරීම මෙයින් සිදුකෙරෙනවා. දැනටමත් නොනිලව සිදුවෙන අධ්‍යාපනය වරප්‍රසාදයක් කියන තත්වය නිල වශයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන්නයි යන්නේ.
උසස් අධ්‍යාපන ආයතනයක් තුළ අධ්‍යයන නිදහස අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මෙය ගෝලීය එකඟතාවයක්. ශ්‍රී ලංකාවත් අත්සන් කළ ගෝලීය එකඟතාවයක්. දැනුම සොයාගෙන යනකොට දේවල් ප්‍රශ්න කිරීමේ නිදහස තියෙන්න ඕනෑ. අලුත් දැනුම නිෂ්පාදනය වෙන්න නම් තියෙන දැනුම ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ වගේම බල පද්ධතිය ප්‍රශ්න කරන්න ඕනෑ. ඒ ප්‍රශ්න කිරීම බලයේ ඉන්න අයට හිත රිදෙන ප්‍රශ්න කිරීම් වුණත් සිදුකිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතන තුළ තියෙන්න ඕනෑ. සමාජයක් වෙනස් කරන්න පුළුවන් දැනුම නිෂ්පාදනය කෙරෙන්නේ එහෙම වුණොත් විතරයි. අධ්‍යයන නිදහස විශ්වවිද්‍යාලයකට අත්‍යවශ්‍ය දෙයක්. ශිෂ්‍යයන්ට වගේම ගුරුවරුන්ටත් එක සේම වැදගත්. නමුත් එහෙම සංස්කෘතියක් හමුදාවල් තුළ නැහැ. හමුදාව තියෙන්නේ දේවල් ප්‍රශ්න කරන්න නෙවෙයි. උඩින් එන අණ පිළිපදින්න. එවැනි හමුදා සංස්කෘතියක් තුළ තියෙන උසස් අධ්‍යාපන ආයතනයකින් අධ්‍යයන නිදහස බලාපොරොත්තු වෙන්නේ කොහොමද? අධ්‍යයන නිදහස නැති උසස් අධ්‍යාපනයක තත්වය මොකක්ද? අධ්‍යාපන පාඨමාලා මොන වගේ වේවිද? මොන වගේ ජාතික හෝ ජාත්‍යන්තර පිළිගැනීමක් එවැනි ආයතනයකට ලැබෙයිද?
මේ පනතෙන් සිදුවෙන්නේ තවත් එක අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමවත් හමුදාවලට අධ්‍යාපනය ලබාදෙන ආයනයක් පිහිටුවීමවත් නෙවෙයි. ඊට එහා ගිය අරමුණු තිබෙනවා. ඉතා අමාරුවෙන් මේ දක්වා ආරක්ෂා කෙරුණු අධ්‍යාපන නිදහස, අධ්‍යාපන දර්ශනය, යන සියල්ලම විකෘති කරන පනතක් මේ ඉදිරිපත් කරන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් අහන්නේ අපිට උරුම අධ්‍යාපන ක්‍රමය විනාශ කරන මේ පනතට පාර්ලිමේන්තුවේදී එකඟ වෙනවාද? අධ්‍යාපනය විනාශ කරන්න දායක වුණු අය හැටියට ඉතිහාසගත වෙන්න කැමති නම් මේකට අත උස්සන්න. හෘදය සාක්ෂියක් තිබෙනවා නම් කිසිසේත්ම මේ පනතට අත උස්සන්න බැහැ. අත උස්සන්න එපා කියන ඉල්ලීම කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීනි, ආචාර්ය හරිනි අමරසූරිය
පාර්ලිමේන්තුව තුළ වගේම එයින් පිටතත් අපට විශාල වගකීමක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න. පොහොර ප්රශ්නය, පෝට් සිටි පනත, මෑත යුගයේ මූලික වශයෙන් මැදිහත් වුණු කටයුතු. මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය රැකගන්න මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නෙවෙයි කියන එක. උපාධියක් ගැනීම හෝ විභාග පාස් කිරීම අධ්‍යාපනය නෙවෙයි. විභාග පාස් කිරීම එක අංගයක් විතරයි. රටකට අවශ්‍ය ශ්‍රම හමුදා නිර්මාණය කිරීම සහ යහපත් සෞන්දර්යාත්මක පුරවැසියෙක් බිහිකර ගැනීම යන මූලික අරමුණු දෙක අධ්‍යාපනයේ අඩංගුයි. යම් තෙතමනයක් ඇති පුරවැසියෝ බිහිකිරීම මේ තුළ ප්‍රධානම අරමුණක්. වැඩ කරන මැෂින් බිහිකිරීම අධ්‍යාපනයේ එකම අරමුණ නෙවෙයි. දැන් පවතින ඔන්ලයින් අධ්‍යාපනයෙන් සිද්ධ වෙන්නෙත් විභාග ටික පාස් වීම විතරයි. තෙතමනයක් සහිත පුද්ගලයෙක් බිහිවීමේ පසුබිම අහිමි වෙනවා.
උසස් අධ්‍යාපන ජීවිතය තුළින් ඉගෙන ගන්න දේවල් පුද්ගලයෙකුගේ පෞරුෂත්වය නිර්මාණය කර සමාජයට වැඩදායි පුද්ගලයෙක් බවට පත්වෙනවා. විභාගවලින් කරන එකම දේ අවශ්‍ය ශ්‍රමිකයා හැදීම. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනත හරහා මේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. හමුදා විනය හොඳයි හමුදාවට. සමාජයක් සිවිල් පුරවැසියෝ වශයෙන් විනය සම්පන්න වෙන්න ඕනෑ වෙනස් ආකාරයකින්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ගෙන ආවේ විනය සම්පන්න රටක් හදන්න. ‘වන් කන්ටි්ර – වන් ලෝ’ කියලා ආවාට දැන්නම් තියෙන්නේ ‘වල් කන්ටි්ර – වල් ලෝ’. අධ්‍යාපනයේ එක කොටසක් වුණු ප්‍රශ්න කිරීමට ඉඩක් නැත්නම් අලුත් දෙයක් ඉගෙන ගන්නේ කොහොමද? අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීම, සංවිධානයකට එකතු වීම, භාෂණයේ නිදහස සහ දේශපාලනය කිරීමේ නිදහස උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩක් වැදගත්. අපි නිර්මාණය කරන්න ඕනෑ පවතින ක්‍රමය ප්‍රශ්න කරන අලුත් දේවල් හොයාගන්න පුරවැසියෝ මිස නියෝග පිළිපදින අය නෙවෙයි.
මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන කීයකට හමුදා නිලධාරීන් පත්කර තිබෙනවාද? ඒ වගේම සියලුම දිස්ත්‍රික්කවලට සක්‍රීය හමුදා සේවයේ ඉන්න නිලධාරින් පත්කර තිබෙනවා. මිලිටරිකරණය වෙන්නෙ අධ්‍යාපනය විතරක් නෙවෙයි. අධ්‍යාපනය තුළින් කියන්නේ එක්තරා පියවරක් පමණයි. මේ තත්වය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පවා සාකච්ඡා කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටවත් මේ ආයතනය නියාමනය කරන්න බලයක් නැත්නම් වගකියන්නේ කාටද? එක පැත්තකික් නිදහස් අධ්‍යාපන සංකල්පය උල්ලංඝනය වෙනවා. අනෙක් පැත්තෙන් රජයේ අධ්‍යාපනයෙන් සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පැවරීම සිදුකෙරෙනවා. ඒ වගේම හමුදාවට කරන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් තියෙනවා. මිනිහෙක්ගේ අතේ තියෙන්නේ මිටියක් නම් ඔහුට හැම දේම පේන්නේ ඇණයක් වගේ. ගෝඨාභය රාජපක්ෂගේ අතේ තියෙන්නේ මිටිය විතරයි. එයාට හැම ප්‍රශ්නයම පේන්නේ ඇණයක් වගේ. වෙන රටවල් කොරෝනා ප්රශ්නය වෙලාවේ ඉස්සරහට දැම්මේ සෞඛ්‍ය ක්ෂේත්රය. අපේ රටේ හමුදාව. හමුදාව කොරෝනා හොඳට මර්දනය කළාද? ෂවේන්ද්‍ර සිල්වා වගේ ඉහළ හමුදා නිලධාරීන් පවා දැන් විකටයෝ බයට පත්වෙලා තිබෙනවා. ඒ ගොල්ලන්ට කරන්න බැරි දේවල් බාරදීම නිසා. හමුදාවට අධ්‍යාපනය ලබාදීමට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යොදා ගත්තාට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රටේ අධ්‍යාපනය සිවිල් පරිපාලනය යටතේ සිදුවිය යුතු දෙයක්. ඒ නිසා මේ පනත හකුළා ගන්නට අප සමස්ත ජනතාවක් වශයෙන් මේ ආණ්ඩුවට බල කළ යුතු වෙනවා.
නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
මේ පනත මගින් විශ්වවිද්‍යාල සම්බන්ධ පනත බල රහිත වෙන්නේ නැහැ. නමුත් මේ විශ්වවිද්‍යාලය සහ ඒ වටා ගොඩනැගෙන ආයතන 1978 උසස් අධ්‍යාපන පනතට යටත් නැහැ. කොතලාවල විශ්වවිද්‍යාල පනතේ ඉතාමත්ම පැහැදිලිව දක්වා තිබෙනවා, 1978 පනතට කිසිසේත්ම යටත් නොවන බව. මේ පනත ගේන්නේ 1981 කොතලාවල ආරක්ෂක පීඨය පිහිටුවීමේ පනතට සංශෝධනයක් හැටියටයි. නමුත් මේ සංශෝධන තුළ පුළුල් බලතල රාශියක් මේ ආයතනයට සහ ඒ යටතේ පිහිටුවන ආයතනවලට ලබා දෙනවා. 1978 උසස් අධ්‍යාපන පනතට පිටින් ක්‍රියාත්මක වන සාගර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් තිබෙනවා. නමුත් ඒ ආයතනවලට වෙනත් ආයතන පිහිටුවීමේ බලතල හෝ වෙනත් විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වීමේ බලතල නැහැ. නිශ්චිත විෂයයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය දීමේ බලතල විතරයි තියෙන්නේ. නමුත් මේකේ පාලක මණ්ඩලයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අදාළ බලතල සම්පූර්ණයෙන්ම ලැබෙනවා. විවෘත විශ්වවිද්‍යාලය වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක වුණත් 1978 පනතට යටත් වෙනවා. මේ පනතේ එහෙම තත්වයක් නැහැ.